Pages

හත්පන……(මැරෙණ දවස)

ගම දුවගේ මගුල් දිනය පැමිණියේය. ගම ගෙදර ඉදිරියෙහි මහත් තොරණකි. ගෙය වියන් බැඳ සියළු ඇඳ පු‍ටු සුදු අතුරා අලංකාර කරන ලද්දේය. නෑදෑයෝ වටින් පිටින් එන්නට වූහ.

ඒ කිරිහාමිට බොහොම හොඳ දවසෙකි. 'අනේ අම්මේ, ඉතින් ආයෙත් මෙහෙම දවසක් ලඟදී ඒදැ' යි කිරිහාමි නොයෙක් වර ඇසීය. 'ඇයි ඔබට හිර ගෙනෙන දා' යනු මවගේ පිළිතුරය.

කිරිහාමි වරක් කැවුම් තුබූ තැනට ගොස් ඉන් හත අටෙක රස බලයි. වරක් කිරිබත් කැටි කරන තැනට ගොස් ඉන් කැටි හත අටෙකට ඉඩ ගෙන දෙයි. 'කිරිබතේ ලුණු කිරි රස ඇද්ද, පුතේ ?' යි මව අසයි. අනේ, මා දන්නේ නෑ අම්මේ. ගුණ දොස් කිය කියා වැඩේ පාළු කරන්නට ආවා නොවෙයි මා' යි කියමින් කිරි හාමි තමාගේ කටයුත්තම කෙරෙයි.

දැන් ගෙය නෑදෑයන්ගෙන් පිරුණේය. බත් වේලාවද ලඟය. 'පුතේ, අනේ, හොඳ පුතා වගේ මේ අමුඩයත් කලයත් අරගෙන අර වෙලේ ලිඳට ගොහින් නාලා එන්න. අද මේ මඟුල් දවසේ හොඳට පිරිසිදු වී ඇඳගෙන ඉන්නට එපා යැ' යි මව කීවාය. වෙන දා මෙවන් කීමක් නොසැලකුවත් කැවුම් කිරිබතේ අනුහසින් කිරිහාමි කීකරු විය.

වෙලේ ලිඳ ලඟ කඹයක් නොවීය. කිරි හාමිට දිය ලණුවෙක්ද නොවීය. ඉතින් කෙසේ අමුඩ ගසන්නටද ? කෙසේ ලි‍ඳෙන් දිය අදින්නටද ? වෙලේ ලිඳ ලඟම දිග එළි කැර සිටිනා ගොනා දැක කිරි හාමි කඹය කණුවේ බැඳ කොන ලිහා ගත්තේය. අනෙක් කොන ගොනා ගේ කරේමය. කිරිහාමි කඹයේ මැද ඉණේ දවටාගෙන අමුඩය ගසාගත්තේ ය. කොන කලයේ බැඳ දිය ඇද ඇද නාන්නට විය.

මේ අතර ඒ අසලින් ගිය සඟ නමක් ඒ දැක 'මහ මෝඩයෙක් ! ගොනා කඹය ඇද්දොත් ?' යි කීයේය. ඵ් 'කඹය ඇද්දොත් ! එහෙනම් මා අද්දන්නෙ' යි කියමින් කිරිහාමි නෑවේය. 'කඹය ඇද්දොත්-

බිම පෙ‍රැළෙයි
කළය බි‍ඳෙයි
ගොනා දිවෙයි
වැඩ ගොඩ වෙයි

යනු කියමින් සඟ නම ගියේය.

වරක් කිරිහාමි දිය කළය හිසට ඔසවනු හා සමඟම කඹයේ තදය දැනී ගොනා හිස ගැස්සීය. එයින් පය ලිස්සා ගොස් කිරිහාමි ළිං පඩිය උඩ වැටී කළය මහ හඬින් කුඩු විය. ගොනා බිය ගෙන කිරිහාමිද ඇදගෙන දුවන්නට වන්නේය. ඒ නියරෙහි මේ නියරෙහි හැපීමෙන් කිරි හාමිට බොහෝ තුවාල විය. වේදනාව ඉවසා ගත නොහී හේ මර හඬ දෙන්නට විය. එහෙත් ගොනා නොනැවතීම දිව්වේය.

කිරිහාමිගේ මර හඬ ඇසී ගෙදර මිනිස්සු වහා දිව අවුත් කඹය කපා ඔහු ගලවා ගත්තෝය. නිදහස් වූ වහාම කිරි හාමි සඟ නම සොයා දුවන්නට වන්නේය. 'පුදුම හාමුදුරු කෙනෙක් ! මා වැටෙන බව, කළය බි‍ඳෙන බව, ගොනා දුවන බව කලින්ම කී හැටි' යි සිතමින් හේ පසු නොබලා දිව්වේය.

සඟ නම දු‍ටු තැනදී කිරිහාමි වැඳ වැ‍ටුනේය. අනේ හාමුදුරුවනේ, අර මා වැටෙන බව, කළය බි‍ඳෙන බව, ගොනා දුවන බව කලින්ම දැක්කේ දිවැසින්ද ?

'ඔව්'

'අනේ, එහෙනම් මා මැරෙන දවසත් කියන්න'

'හිසත් පයත් එක තරමට සීතල වුණු දා'

මෙසේ කියා සඟ නම ගියේය. මැරෙන දවස දැන ගතිමියි කියමින් කිරිහාමි ගෙදර ආයේය. ගෙදර කලබලය එයින් නැවතී මඟුලේ කටයුතු හොඳින් කැරුණේය.